කලකට ඉහත ජාතික රූපවාහිනියේ විකාශනය වූ " පන් පසිඳුවන් " ළමා වීර කතා මාලාව අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ සුන්දර මතකයක්. Famous Five නම් ඉංග්‍රීසි කතාංග මාලාවේ සිංහල හඬ කැවීම වූ එය ළමුන් සිව් දෙනෙකු වටා ගෙතුණු අපූරු කතාවක්.
ඔබට මතකද එහි එක් කොටසක, ඔවුන්ගේ පවුලට අයත් දූපතකට යන්න මුහුද යටින් වූ උමං මාර්ගයක් සොයා ගන්නවා? . එය නරඹන පුංචි හිත් වලට එවැනි අත්දැකීමක් විදින්නට ඇති නම් කිසා සිතෙන්නට ඇති.
එවැනි අපූරු ස්ථානයක් අප ජීවත් වන පුංචි රටේ හමුවන බව ඔබ දැන සිටියාද ? මුහුද යටින් දිවෙන උමං මාර්ග අද වෙනකොට විදේශ රට වලට නම් අරුමයක් නෙවෙයි. නමුත් අපේ රටට නම් තවමත් එය ආගන්තුකයි.
අපේ රට වටාම කුඩා කුඩා දූපත් සිය ගණනක් දකින්න පුළුවන්. මින් එක් දූපතක් හා ගොඩබිම උමං මාර්ගයකින් යා වන බව ඔබ දැන සිටියා ද, පන් පසිඳු කතා මාලාවේ සේම මේ උමඟත්
නිර්මාණයක්. වැඩිය අටුවා ටීකා අවශ්‍ය නෑ. මේ උමඟ අපිට හමු වෙන්නෙ කල්පිටිය අර්ධද්වීපයේ කෙලවර වූ ලන්දේසි බලකොටුවෙන්.
මීට වසර කිහිපයකට කලින් කල්පිටිය අර්ධද්වීපයේ සංචාරයකට එකතු වුණේ එහි සංචාරක ඉසව් සොයාගෙන යන අදහසින්, තලවිල ශාන්ත ආනා දෙව් මැදුර නරඹමින්, කල්පිටියේ සූර ගොවීන් කර්කශ බිම අස්වද්දන අයුරු දැකගනිමින් ගිය ඒ ගමනේ ගමනාන්තය වුණේ කල්පිටිය ඕලන්ද බලකොටුව.
අද වන විට එය නාවික හමුදාව භාරයේ පවතින කඳවුරක්. මේ නිසා බලකොටුව මැනවින් ආරක්ෂා ව තියෙනවා. අප එහි යන තෙක්ම උමං මාර්ගය පිළිබඳ විස්තර දැන සිටියෙ නැහැ. අප සමඟ හිතවත් වුණා නාවුක හමුදා නිලධාරින් මේ අපූරු ඉදිකිරීම පෙන්වන්නට කාරුණික වුණා.
බලකොටුවේ සිට වම් පසට සේම දකුණු පසටද දිවෙන උමං මාර්ග දෙකක් දැකගන්න පුළුවන්. මින් වම් පසට දිවෙන් කිලෝමීටර් දෙක හමාරක් පමණ දිග උමං මාර්ගය කෙලවර වෙන්නෙ එරමුතිව් දිවයිනෙන්. මේ උමං මාර්ගය නගරය යටින් ගොස් මුහුදු පත්ලටත් යටින් දිවෙන සේ නිර්මාණය කර තිබීම විස්මයජනක යි.
Famous Five කතාංගයේ වැනි මෙවැනි නිර්මාණ යුරෝපයේ බලකොටු ආශ්‍රිතව දකින්න පුළුවන්. ඒත් ලංකාවෙ දකින්නට ලැබෙන්නේ මෙතැනම පමණයි. මේ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් බව සැකයක් නැහැ.
නගරය හරහා සෙබලුන් ප්‍රවාහනය නිසා පිරිස් බලය සතුරන් හට ආරංචි වීම වැළැක්වීමටත් හදිසි පළා යාමක් වෙනුවෙනුත් මෙය ඉදි කරන්නට ඇති බව සැකයක් නැහැ. මෙහි දකුණු පස උමං මාර්ගය දිවෙන්නේ ඕලන්ද දේවස්ථානය වෙත, එය මීටර් 500 ක් පමණ දිගකින් යුක්තයි.
අද වන විට මේ උමං මාර්ග භාවිතාවක් සිදු නොවෙන නිසා, එයට සාමාන්‍ය ජනතාවට පිවිසීමේ අවසරය නෑ. අපේ රට සූරා කෑ අධිරාජ්‍යයවාදීන් ඉතිරි කර ගිය වටිනා නිර්මාණයක් වන මෙය කල්පිටිය අර්ධද්වීපය වෙත ගියොත් ඔබ නැරඹිය යුතුම ස්ථානයක්.
#ඓරාවණ
( ඡායාරූප අන්තර්ජාලයෙන් )




No comments:
Post a Comment