Monday, 14 August 2017

සීතාවගේ කඳුළු සොයා පාරාදීසයට



        එය පාරාදීසයකි, සැබැවින්ම සැඟවුණු නොකැලැල් පාරාදීසයකි. මෙරට හෘදය බඳු මධ්‍යම කඳුකරයේ වූ පුස්සැල්ළාව ග්‍රාමයෙන් මේ අසිරිමත් ඉසව්වට පිවිසිය හැක.



        Chariot Path of Rawana  ලෙස ගවේෂකයන්, කඳු නගින්නන් අතර ප්‍රකට මෙහි පිවිසීමට නම් ප්‍රොටෝෆ්ට් වතු යායේ සිට පැය 3 ක පමණ කඳු නැග්මක් ඇත. එහි පිවිසෙන අපට දැකගත හැකි වන්නේ සොභා දහමේ අපූරුතම නිර්මාණයකි.



        හාත් පසින් වූ ඝන වනාන්තරය මැද, තණ කොළ වැවුණු තැනිතලා බිමකි. නිරතුරුව මීදුමින් පරිසරය වෙළාගෙන ඇත. මෙය තැනිතලාවක් ද, නැත්නම් කවුරුන් හෝ නිර්මාණය කල මාර්ගයක් ඔබට එසේ සිතෙනු ඇත.
      ඔව්, එය පාරාදීසය කරා දිවෙන මාර්ගයයි. රාවණා රජුන් ප්‍රියාදර සීතාව රැගෙන තම අශෝක මල් වනය කරා ගමන් කල මාර්ගය මෙය වීලු. අහස දෙසට විහිදෙන්නා සේ පෙනෙන එහි කෙලවර ඈතින් දිස්වෙන උතුම් ශ්‍රී පාදය ලෙස පෙනීම අසිරිමත් ය.




      තැන්නේ කෙළවරක කුඩා පොකුණකි. ගම් වැසියන්ට අනුව එය කිසිදා නොසිදෙන්නකි. සීතාවගේ කඳුළු එක් වී එය නිර්මාණය වීලු.



       රාමා සීතා රාවණා මේ බිමට සම්බන්ධ වූයේ කෙලෙසින් ද ? මගේ පෞද්ගලික මතය නම් එය පසු කලෙක සිදු වූවකි. මේ ලස්සන කතාව ගෙතූවෝ යටත් විජිත සමයේ මෙරටට පැමිණ මේ ආශ්‍රිතව පදිංචි වූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ය.


       ඔවුන් අනාදිමත් කාලයක සිට රාමායණය තම ආත්මගත කොට තිබුණි. එමෙන්ම මෙරට රාවණාගේ ලංකාපුරය යැයි අසීමිත විශ්වාසයක් ඔවුන් තුල විය. රාවණා ගේ දේශයට පැමිණ පදිංචි වූ ඔවුහු පරම්පරා සිය ගණනක් කියැවූ රාමායණය මෙරට ස්වභාවිකත්වය තුලින් දක්නට උත්සාහ කලහ.

      කඳුකරයේ තැනක සොභා දහම නිර්මාණය කල මාර්ගයත්, නොසිදෙන උල්පතත් රාමා සීතා රාවණයන්ට භාර කොට කතා ගෙතූයේ එහෙයිනි. මෙවන් ජනප්‍රවාද බිහි කල තැන් අනන්තවත්  මධ්‍යම කඳුකරයෙන් හමුවේ.

      කෙසේ නමුදු මෙය මිහිබට මැවූ අසිරිමත් බිමකි. එහි නොකැලැල් භාවය, සොබා දහමෙහි ආධ්‍යාත්මිකත්වය ඔබේත් මගේත් දරු මුණුබුරන්ටද මෙලෙසින්ම විදින්නට මෙබිම ආරක්ෂා කල යුතු ය.



සේයා රෑ - Sandun Chanaka De Silva
                    Chinthana Desapriya

No comments:

Post a Comment

අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්

         මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...