යටගියාව Yatagiyawa
ඉතිහාසයේ ජනශ්රැතියේ රස තැන් සොයා යන අවකාශය
Saturday, 19 August 2017
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්තුකයි. ඒකට හේතුව මෑත යුගයෙ එවැනි අත්දැකීමක් අපට නොතිබීම.
නමුත් එය එසේ නොවෙන බවට අපේ සැඟවුණු ඉතිහාසය දෙස් දෙනවා. ක්‍රි.ව. 1615 අප්‍රේල් මාසෙ 14, ඔව් සිංහල අලුත් අවුරුද්ද,
ඒත් එදා මෙදා තුර ලාංකික සමාජය මුහුණ නොදුන් අත්දැකීමක්, එවර අවුරුදු කුමරා රැගෙන පැමිණියේ.
එදින රාත්‍රිය අවුරුදු සතුට පරයමින් භීතිය සේම ත්‍රාසයෙන් මිනිස් හදවත් කම්පනය කරන මූසල අඳුරු රාත්‍රියක් බවට පත් වුණේ, හිරු ක්ෂිතිජයෙන් නොපෙනී යාමත් එක්කම වගේ.
මහපොළොව දෙදරවමින් තමන්ට සෙවන දුන් නිවෙස් අහිංසකයන් හිස මත කඩා වැටෙන්නට වුණා. කොළඹ කොටුවේ බැමි පවා පෙරලී ගොස්, කැළණි ගඟ මතින් වූ පාලම සුනු විසුණු ව යෑමට ගතව ඇත්තේ එක් නිමේෂයක කාලයක්.
ඒ දීර්ඝ රාත්‍රිය අවසානයේ, කිසිත් නොදන්නා විලසින් පෙරදා බැසගිය හිරු, පසුදා නැඟ එද්දී, කොළඹ අවට දෙදහසක් පමණ දෙනෙකුට ජීවිත අහිමිව තිබුණා. තුවාල වූ පිරිස තවත් දහස් ගණනක්.
මේ ගැන තොරතුරු සඳහන් වෙන්නෙ පෘතුගීසි ජාතික ජෝර්ජ් රොඩ්‍රිගස් මුද්‍රණය කල වාර්තාවක. ඓරාවණ තුලින් මේ අවාසනාවන්ත රාත්‍රිය පිළිබඳ බොහෝ දෑ එළි දකින්නට නියමිතයි.
ඔව්, ඔබ තවමත් සිටින්නෙ සැකයෙන් එය මේ පුංචි රටේ ඇත්තටම සිදු වුණාද ?
සැප්තැම්බර් 17 තෙක් ඉවසමු.
ඓරාවණ
" ඓරාවණ " මගෙ දෙවනි කෘතිය, රාවණා අඩවිය මගෙ පළවෙනි කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර විවිධයි. ඒ හැම එකකම තිබුණේ ධෛර්යමත් කරන්නට රුකුලක් වන ප්‍රතිචාර. ඒ අතරෙ රාවණා අඩවිය 2 කොටසක් අවශ්‍ය යැයි කියපු අය හිටිය,
නමුත් තවමත් ඒ ගැන අදහසක් නෑ. තව වසර කිහිපයක් ගත වන තුරුත්, නව කතාවක් මගෙ අතින් නොලිවෙන්න පුළුවන්. ආධුනිකයෙක් හැටියට නවකතාවක් ලිවීමට තිබුණ ආශාවෙ ප්‍රතිඵලයක් " රාවණා අඩවිය " ලියවෙන්නෙ. ඒක ලියද්දි නව කතා ශෛලිය ගැන අධ්‍යනයක් කලේ නැහැ.
දැන් තරමක අවබෝධයක් ඇති නිසා, මගේ පළමු කෘතියෙ වැරදි මට පෙනෙන්නට පටන් ගෙන තියෙනවා. ඒත් නව කතාව පිළිබඳ තවත් බොහො දේ හදාරන්නට අධ්‍යනය කරන්නට තියෙනවා. පාඨකයාට වගේම මටත් සාධාරණය ඉටු වන කෘතියක් රචනා කරන්නට යොමු වෙන්නෙ ඊට පසුව.
එතකොට ඓරාවණ කියන්නෙ ? ඓරාවණ නවකතාවක් නම් නෙවෙයි. කාලයක් තිස්සේ අපේ ඉතිහාසගත තොරතුරු සොයාගෙන ඇවිදගෙන යද්දි, එක්කාසු කරපු කරුණු ගොණුවක්. මගෙ පොත් රාක්කෙ කෙලවරක, ෆයිල් එකක් ඇතුලෙ තිබුණ.
මුලදි හිතාගෙන හිටියෙ, ඒවා ඇසුරු කරගෙන නව කතා කිහිපයක් ලියන්න. නමුත් ලද විවේකය එක්ක, මේවායෙන් ලිපි එකතුවක් ඉදිරිපත් කරන්න හිතුණා.
තෝරගත් මාතෘකා ආකර්ෂණීය යැයි හිතෙන ඒවා.
ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් අපි නොකියවන නමුත් රසවත් ඓතිහාසික තොරතුරු එකතුවකින් තමයි ඓරාවණ සමන්විත වෙන්නෙ, ඓරාවණ ලියැවුනේ සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. ඉතිහාසය විෂයෙ කෘතියක් අධ්‍යනය කරනවට වඩා ලෙංගතුකමකින් මෙය රස විදින්නට ඔබට හැකි වේ යයි සිතනවා.
නිදහස හා ස්වාධීනත්වය ගරු කරන නිසා මෙය අපේම නැණසර ප්‍රකාශනයක් විදිහට එළිදකින්නෙ. සැප්තැම්බර් 17 වෙනිදා උදේවරුවේ, BMICH අසල ධර්ම විජය ශ්‍රවණාගාරයට ඔව ආවොත් තවත් බොහෝ දේ දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම සාම්ප්‍රදායික පොත් එළිදැක්මකින් එපිටට ගිහින් ඔබට නවමු අත්දැකීමක් ලබා දෙන්න මේ වන විටත් සැලසුම් සකස් කරමින් ඉන්නෙ.
නමුත් තවමත් ඒ ගැන අදහසක් නෑ. තව වසර කිහිපයක් ගත වන තුරුත්, නව කතාවක් මගෙ අතින් නොලිවෙන්න පුළුවන්. ආධුනිකයෙක් හැටියට නවකතාවක් ලිවීමට තිබුණ ආශාවෙ ප්‍රතිඵලයක් " රාවණා අඩවිය " ලියවෙන්නෙ. ඒක ලියද්දි නව කතා ශෛලිය ගැන අධ්‍යනයක් කලේ නැහැ.
දැන් තරමක අවබෝධයක් ඇති නිසා, මගේ පළමු කෘතියෙ වැරදි මට පෙනෙන්නට පටන් ගෙන තියෙනවා. ඒත් නව කතාව පිළිබඳ තවත් බොහො දේ හදාරන්නට අධ්‍යනය කරන්නට තියෙනවා. පාඨකයාට වගේම මටත් සාධාරණය ඉටු වන කෘතියක් රචනා කරන්නට යොමු වෙන්නෙ ඊට පසුව.
එතකොට ඓරාවණ කියන්නෙ ? ඓරාවණ නවකතාවක් නම් නෙවෙයි. කාලයක් තිස්සේ අපේ ඉතිහාසගත තොරතුරු සොයාගෙන ඇවිදගෙන යද්දි, එක්කාසු කරපු කරුණු ගොණුවක්. මගෙ පොත් රාක්කෙ කෙලවරක, ෆයිල් එකක් ඇතුලෙ තිබුණ.
මුලදි හිතාගෙන හිටියෙ, ඒවා ඇසුරු කරගෙන නව කතා කිහිපයක් ලියන්න. නමුත් ලද විවේකය එක්ක, මේවායෙන් ලිපි එකතුවක් ඉදිරිපත් කරන්න හිතුණා.
තෝරගත් මාතෘකා ආකර්ෂණීය යැයි හිතෙන ඒවා.
ලංකා ඉතිහාසයේ සාමාන්‍යයෙන් අපි නොකියවන නමුත් රසවත් ඓතිහාසික තොරතුරු එකතුවකින් තමයි ඓරාවණ සමන්විත වෙන්නෙ, ඓරාවණ ලියැවුනේ සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. ඉතිහාසය විෂයෙ කෘතියක් අධ්‍යනය කරනවට වඩා ලෙංගතුකමකින් මෙය රස විදින්නට ඔබට හැකි වේ යයි සිතනවා.
නිදහස හා ස්වාධීනත්වය ගරු කරන නිසා මෙය අපේම නැණසර ප්‍රකාශනයක් විදිහට එළිදකින්නෙ. සැප්තැම්බර් 17 වෙනිදා උදේවරුවේ, BMICH අසල ධර්ම විජය ශ්‍රවණාගාරයට ඔව ආවොත් තවත් බොහෝ දේ දැනගන්න පුළුවන් වේවි. ඒ වගේම සාම්ප්‍රදායික පොත් එළිදැක්මකින් එපිටට ගිහින් ඔබට නවමු අත්දැකීමක් ලබා දෙන්න මේ වන විටත් සැලසුම් සකස් කරමින් ඉන්නෙ.
Monday, 14 August 2017
සීතාවගේ කඳුළු සොයා පාරාදීසයට
එය පාරාදීසයකි, සැබැවින්ම සැඟවුණු නොකැලැල් පාරාදීසයකි. මෙරට හෘදය බඳු මධ්‍යම කඳුකරයේ වූ පුස්සැල්ළාව ග්‍රාමයෙන් මේ අසිරිමත් ඉසව්වට පිවිසිය හැක.
Chariot Path of Rawana ලෙස ගවේෂකයන්, කඳු නගින්නන් අතර ප්‍රකට මෙහි පිවිසීමට නම් ප්‍රොටෝෆ්ට් වතු යායේ සිට පැය 3 ක පමණ කඳු නැග්මක් ඇත. එහි පිවිසෙන අපට දැකගත හැකි වන්නේ සොභා දහමේ අපූරුතම නිර්මාණයකි.
හාත් පසින් වූ ඝන වනාන්තරය මැද, තණ කොළ වැවුණු තැනිතලා බිමකි. නිරතුරුව මීදුමින් පරිසරය වෙළාගෙන ඇත. මෙය තැනිතලාවක් ද, නැත්නම් කවුරුන් හෝ නිර්මාණය කල මාර්ගයක් ඔබට එසේ සිතෙනු ඇත.
ඔව්, එය පාරාදීසය කරා දිවෙන මාර්ගයයි. රාවණා රජුන් ප්‍රියාදර සීතාව රැගෙන තම අශෝක මල් වනය කරා ගමන් කල මාර්ගය මෙය වීලු. අහස දෙසට විහිදෙන්නා සේ පෙනෙන එහි කෙලවර ඈතින් දිස්වෙන උතුම් ශ්‍රී පාදය ලෙස පෙනීම අසිරිමත් ය.
තැන්නේ කෙළවරක කුඩා පොකුණකි. ගම් වැසියන්ට අනුව එය කිසිදා නොසිදෙන්නකි. සීතාවගේ කඳුළු එක් වී එය නිර්මාණය වීලු.
රාමා සීතා රාවණා මේ බිමට සම්බන්ධ වූයේ කෙලෙසින් ද ? මගේ පෞද්ගලික මතය නම් එය පසු කලෙක සිදු වූවකි. මේ ලස්සන කතාව ගෙතූවෝ යටත් විජිත සමයේ මෙරටට පැමිණ මේ ආශ්‍රිතව පදිංචි වූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ය.
ඔවුන් අනාදිමත් කාලයක සිට රාමායණය තම ආත්මගත කොට තිබුණි. එමෙන්ම මෙරට රාවණාගේ ලංකාපුරය යැයි අසීමිත විශ්වාසයක් ඔවුන් තුල විය. රාවණා ගේ දේශයට පැමිණ පදිංචි වූ ඔවුහු පරම්පරා සිය ගණනක් කියැවූ රාමායණය මෙරට ස්වභාවිකත්වය තුලින් දක්නට උත්සාහ කලහ.
කඳුකරයේ තැනක සොභා දහම නිර්මාණය කල මාර්ගයත්, නොසිදෙන උල්පතත් රාමා සීතා රාවණයන්ට භාර කොට කතා ගෙතූයේ එහෙයිනි. මෙවන් ජනප්‍රවාද බිහි කල තැන් අනන්තවත් මධ්‍යම කඳුකරයෙන් හමුවේ.
කෙසේ නමුදු මෙය මිහිබට මැවූ අසිරිමත් බිමකි. එහි නොකැලැල් භාවය, සොබා දහමෙහි ආධ්‍යාත්මිකත්වය ඔබේත් මගේත් දරු මුණුබුරන්ටද මෙලෙසින්ම විදින්නට මෙබිම ආරක්ෂා කල යුතු ය.
සේයා රෑ - Sandun Chanaka De Silva
Chinthana Desapriya
සයිබර් සල්ලාපය
මීට මාසයකට පමණ ඉහත දී, තැපෑලෙන් මාවෙත පැමිණියේ අපූරු ආරාධනාවකි. එහි වූ නිර්මාණශීලිත්වය සේම අන්තර්ගතය දුටු විට, එහි යා යුතුම බැව් හැඟුණි. ආරාධනය පොත් පිස්සන්ගෙනි, මාත් පිස්සෙකි.
මේ අමුතුම වැඩකි. මෙතෙක් නොවුණු දෙයකි. ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ ලේඛක ලේඛිකාවන් හා පාඨකයන් එකිනෙකා හමුවන අපූරු බිමක් ඔවුන් තනා තිබුණි. ඒ මහවැලි කේන්ද්‍රයේ ය.
ගිය විගස ලැබුණේ ආදරණීය පිළිගැනීමකි. ඔවුන් දුන් පොතෙහි දවසේ පෙළගැස්ම විය, දහවල් 2.30 එහි අවසානය බව දුටු විටම මෙතරම් වේලාවක් මෙහි කෙසේ නම් ඉන්න දැයි සිතුන මුත් ඒ සිතුවිල්ල වලංගු වූයේ ස්වල්ප වේලාවකට පමණි.
පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ නූතන නවකතාව පිළිබඳ දේශනය කෙටි නමුත් රසවත් සේම, නොදත් බොහෝ දෑ, පිළිබඳ දැනුවත් වන්නට අවස්ථාවක් විය.
මගේ ලේඛන දිවියට විටෙක ගුරුවරයෙක් සහෝදරයෙක් සේ, දිරි දුන් නිබඳ ගුරු හරුකම් ලබා දෙන වෛද්‍ය සුසිත රුවන් මහතාගේ දේශනයත් එවැනිමය.
සහන් කසීර අයියගේ තීරු ලිපි හා ෆේස් බුක්, දිනපතා කියවන ඔහුගේ ෆේස් බුක් ලිපි සේම තදින් හදවත ස්පර්ශ කෙරූවකි. දිලීප ජයකොඩි මහතාගේ නූතන ඉන්දියානු සාහිත්‍ය පිළිබඳ දේශනයද, කත්‍යානා මහත්මිය ගේත්, බෙනඩික් මහතාගේත් කාංචනා අක්කගේත් දේශන අවසානය දක්වාම එහි මා රදවා ගැනීමට හේතු වුණි.
අවසානයේ මේ මසුරන් අවස්ථාව නිර්මාණය කල, මෙතෙක් නොදුටු මිතුරෙකුව සිටි ඉසුරු අයියටත්, දෙවරක්ම ආකර්ෂණීය කවර නිර්මාණය කර දෙමින් මගේ නිර්මාණ වලට යෝධ ශක්තියක් වන ප්‍රශාන් අයියටත්, අමිල අයියා, කවීෂ, ධනුෂ්ක, ජනනි, රසංගි, ඔසදිනි, සචිතා සියල්ලන්ට ආගන්තුක සත්කාර, තිලිණ මේ සියල්ල වෙනුවෙන් තුති පුදමි.
සාහිත්‍ය ලෝකය වෙනුවෙන් හෙට තවත් වැඩදායක යමක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
Sunday, 13 August 2017
කකුළෙ ඇගිල්ලකට මොකද වුණේ ?
මේ තියෙන්නේ ගෝවේ බොම් ජේසුස් බැසිලිකාවෙ තැන්පත් කර ඇති දේහයක්. අපි හිතන විදිහට මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ දේහය, ක්‍රිස්තු බැතිමතුන් ට අනුව ෆ්‍රැන්සිස් ෂේවියර් තුමන්ගෙ දේහය.
තොටගමුවේ රාහුල හිමියන් අපවත් වීමට කලින් සිද්ධාලෝක රසය නම් බෙහෙත් ඖෂධයක් වැළඳූ නිසා උන්වහන්සේගේ දේහය නරක් නොවී ආරක්ෂා වුණ බව කියවෙනවා.
පෘතුගීසීන් විසින් ඉඳුරුව ගල්ලෙනේ ආරක්ෂිතව තිබූ මේ දේහය සොරාගත් බවත් කියවෙනවා. හිමියන්ගෙ දකුණතේ කවි දෙකක් කොටාගෙන තිබූ බව සඳහන් වෙනවා. මේ නිසා උන්වහන්සේගෙ දේහයේ අනන්‍යතාව රැකුණු බව කියවෙනවා.
අද වෙනකොට ගෝවේ දකින්න ලැබෙන දේහයේ දකුණත නැහැ, ( මේ ඡායාරූපය ඒකට සාක්ෂි දරණවා ) එය මේ වංචාව හසුවීම වැළැක්වීමට කරන ලද්දක් බවත් කියවෙනවා.
මේක බොහෝ දෙනෙක් දැනුවත් කතාවක්.
හැබැයි මේ දේහයේ පාදයක ඇඟිල්ලකුත් නෑ.
මොකක්ද මේ ඇඟිල්ලට සිදු වුණේ ?
මේක ටිකක් අප්‍රකට ජුගුප්සාජනක සිදුවීමක් .
ගෝවට රැගෙන ආපු මේ දේහය, ශාන්ත පෝල් දෙව් මැදුරෙ දින තුනක් පුරාවට මහජන ප්‍රදර්ශනයට තබනවා. එහි පැමිණි දෝන ඉසබෙලා ටී කැරොන් නැමැති කාන්තාවක් පාද සිපගන්න මුවා වෙන් කටින් කඩා එක් ඇගිල්ලක් වෙන් කර ගන්නවා.
අද වෙනකොට මේ ඇගිල්ලත් ගෝවේ දේවස්ථානයක ප්‍රදර්ශනය කරනවා.
එතකොට අතට මොකද වුණේ ? අතේ උඩ බාහුව රෝමයටත්, අත ජපානයටත් යැවූ බව කිය වෙනවා. මේ දේහය ගැන වෛද්‍ය නිරීක්ෂණ කිහිපයක් සටහන් තබා තියෙනවා. ඒ හැම එකක්ම අස්වාභාවිකයි.
ඔවුන්ගෙ නිරීක්ෂණ වලට අනුව නරක් නොවුණු රුධිරය දකින්න ලැබිල තියෙනවා. ඒ වගේම දේහයෙන් මිහිරි සුවඳක් හමා විත් තියෙනවා. මේ හුදු ප්‍රලාප වන්නට ඉඩ වැඩියි. අද වන විට දේහය දිරාපත් වෙමින් පවතින්නේ.
ඊලඟ ලිපියෙන් හිමියන් ගේ හස්ථයෙහි වූවා යැයි කියන කවි ද්විත්වය බලාපොරොත්තුවන්න.
Friday, 11 August 2017
පන් පසිඳු දිවයින සිහිගන්වන ලංකාවේ උමං මාර්ගය
කලකට ඉහත ජාතික රූපවාහිනියේ විකාශනය වූ " පන් පසිඳුවන් " ළමා වීර කතා මාලාව අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ සුන්දර මතකයක්. Famous Five නම් ඉංග්‍රීසි කතාංග මාලාවේ සිංහල හඬ කැවීම වූ එය ළමුන් සිව් දෙනෙකු වටා ගෙතුණු අපූරු කතාවක්.
ඔබට මතකද එහි එක් කොටසක, ඔවුන්ගේ පවුලට අයත් දූපතකට යන්න මුහුද යටින් වූ උමං මාර්ගයක් සොයා ගන්නවා? . එය නරඹන පුංචි හිත් වලට එවැනි අත්දැකීමක් විදින්නට ඇති නම් කිසා සිතෙන්නට ඇති.
එවැනි අපූරු ස්ථානයක් අප ජීවත් වන පුංචි රටේ හමුවන බව ඔබ දැන සිටියාද ? මුහුද යටින් දිවෙන උමං මාර්ග අද වෙනකොට විදේශ රට වලට නම් අරුමයක් නෙවෙයි. නමුත් අපේ රටට නම් තවමත් එය ආගන්තුකයි.
අපේ රට වටාම කුඩා කුඩා දූපත් සිය ගණනක් දකින්න පුළුවන්. මින් එක් දූපතක් හා ගොඩබිම උමං මාර්ගයකින් යා වන බව ඔබ දැන සිටියා ද, පන් පසිඳු කතා මාලාවේ සේම මේ උමඟත්
නිර්මාණයක්. වැඩිය අටුවා ටීකා අවශ්‍ය නෑ. මේ උමඟ අපිට හමු වෙන්නෙ කල්පිටිය අර්ධද්වීපයේ කෙලවර වූ ලන්දේසි බලකොටුවෙන්.
මීට වසර කිහිපයකට කලින් කල්පිටිය අර්ධද්වීපයේ සංචාරයකට එකතු වුණේ එහි සංචාරක ඉසව් සොයාගෙන යන අදහසින්, තලවිල ශාන්ත ආනා දෙව් මැදුර නරඹමින්, කල්පිටියේ සූර ගොවීන් කර්කශ බිම අස්වද්දන අයුරු දැකගනිමින් ගිය ඒ ගමනේ ගමනාන්තය වුණේ කල්පිටිය ඕලන්ද බලකොටුව.
අද වන විට එය නාවික හමුදාව භාරයේ පවතින කඳවුරක්. මේ නිසා බලකොටුව මැනවින් ආරක්ෂා ව තියෙනවා. අප එහි යන තෙක්ම උමං මාර්ගය පිළිබඳ විස්තර දැන සිටියෙ නැහැ. අප සමඟ හිතවත් වුණා නාවුක හමුදා නිලධාරින් මේ අපූරු ඉදිකිරීම පෙන්වන්නට කාරුණික වුණා.
බලකොටුවේ සිට වම් පසට සේම දකුණු පසටද දිවෙන උමං මාර්ග දෙකක් දැකගන්න පුළුවන්. මින් වම් පසට දිවෙන් කිලෝමීටර් දෙක හමාරක් පමණ දිග උමං මාර්ගය කෙලවර වෙන්නෙ එරමුතිව් දිවයිනෙන්. මේ උමං මාර්ගය නගරය යටින් ගොස් මුහුදු පත්ලටත් යටින් දිවෙන සේ නිර්මාණය කර තිබීම විස්මයජනක යි.
Famous Five කතාංගයේ වැනි මෙවැනි නිර්මාණ යුරෝපයේ බලකොටු ආශ්‍රිතව දකින්න පුළුවන්. ඒත් ලංකාවෙ දකින්නට ලැබෙන්නේ මෙතැනම පමණයි. මේ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයාගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් බව සැකයක් නැහැ.
නගරය හරහා සෙබලුන් ප්‍රවාහනය නිසා පිරිස් බලය සතුරන් හට ආරංචි වීම වැළැක්වීමටත් හදිසි පළා යාමක් වෙනුවෙනුත් මෙය ඉදි කරන්නට ඇති බව සැකයක් නැහැ. මෙහි දකුණු පස උමං මාර්ගය දිවෙන්නේ ඕලන්ද දේවස්ථානය වෙත, එය මීටර් 500 ක් පමණ දිගකින් යුක්තයි.
අද වන විට මේ උමං මාර්ග භාවිතාවක් සිදු නොවෙන නිසා, එයට සාමාන්‍ය ජනතාවට පිවිසීමේ අවසරය නෑ. අපේ රට සූරා කෑ අධිරාජ්‍යයවාදීන් ඉතිරි කර ගිය වටිනා නිර්මාණයක් වන මෙය කල්පිටිය අර්ධද්වීපය වෙත ගියොත් ඔබ නැරඹිය යුතුම ස්ථානයක්.
#ඓරාවණ
( ඡායාරූප අන්තර්ජාලයෙන් )
Thursday, 10 August 2017
කලු ඇඳ මල බෙර ගසන පුදුම සහගත පෙරහැරක් ______________________________________ •
පෙරහැර සංස්කෘතිය අනාදිමත් කාලයක පටන් මෙරට ජන සමාජය හා බද්ධ වූවක්. දළදා පෙරහැර සේම මෙරට වෙහෙර විහාරස්ථාන, දේවාල ආශ්‍රිතව වසර පුරාවට පෙරහැර විවිධ අවස්ථාව වල සංවිධානය වන අයුරු දකින්නට පුළුවන්. පෙරහැර තුල මෙරට ජන කලාවන්හි එළි දැක්මක් සිදු වෙනවා.
අලංකාර රංග හැඩතල, ආකර්ෂණීය ඇදුම් ආයිත්තම් නාද මාලා සෑම පෙරහැරකටම පොදු ලක්ෂණයක්. ඒත් අපි මේ සඳහන් කරන පෙරහැරේ පවතින්නේ ඊට ඉඳුරාම වෙනස් තත්වයක්.
සුප්‍රකට ඇම්බැක්කේ දෙවොලේ තමයි මේ, අප්‍රකට පෙරහැර පැවැත්වෙන පුදබිම. මෙහි දිය කපන පෙරහැරේ වැයෙන්නෙ මල බෙර නාදය. සහභාගි වන්නන් සැරසී සිටින්නේ කලු පැහැ වස්ත්‍ර වලින්.
මෙවැනි වෙනසක් ඇයි ? ඔවුන් මේ නිරූපණය කරන්නෙ මලගමක්. ඒ මේ දෙවොල සාදන්නටත් මුල් වූ, දෙවොලට අධිගෘහත යැයි සැලකෙන හෙණකඳ බිසෝ බණ්ඩාර දේවියගෙ මරණය සිහි කිරීමක් විදිහට.
හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය පුසුල්පිටියෙදි මිය යන්නෙ, අබිරහස් අන්දමින් එතුමියගෙ දෝලාව තුලමයි. එතුමියගෙ දේහය තැන්පත් කල දෙණ මහවැලි ගඟේ ගසාගෙන විත් රැදෙන්නෙ ගම්පොළ කහටපිටිය තොටුපලේ.
මේ දේවියගෙ දෙණ වෙනුවෙන් දින පහක් රජු පෙරහැර කල බව සඳහන් වෙනවා. ඒ අවස්ථාව තමයි අදටත් පෙරහැර සිරිතක් බවට පත්ව නිරූපණය වෙන්නෙ.
මේ පිළිබඳ කියන්නට තවත් තොරතුරු බොහොමයි. නුදුරු දිනකදී එළිදකින ඓරාවණ ග්‍රන්ථයෙන් මේ පිළිබඳ බොහො දේ කියන්නට අප සූදානම්.
Subscribe to:
Comments (Atom)
අපේ ඉතිහාසයේ ලියැවුණු භූමි කම්පාවක්
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
මහා ශබ්දයක් සමඟ, මහ පොළොව දෙදරවන, නිමේෂයක දී ගොඩනැගිලි ගහ කොළ සියල්ල පොළොවට සමතලා කර දමන, භූමි කම්පා මේ පුංචි කොදෙව්වෙ අපට ආගන්ත...
-
කලකට ඉහත ජාතික රූපවාහිනියේ විකාශනය වූ " පන් පසිඳුවන් " ළමා වීර කතා මාලාව අප බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ සුන්දර මතකයක්. Famou...
-
ඉතිහාසයේ විසංවාද පෘතුගීසින් ලංකාවට එන විට ලංකාවේ පාලකයා කවුද ? මේ පැනය අද මගේ මිතුරෙක් විමසූ එකක්. ඔහුට පිළිතුරු දෙකක් තිබුණ. එකක්...















